Monday, August 12, 2013

THE HURT LOCKER - අරමුණු වෙනුවෙන් ඉවසීමේ මහිමය

වේගයෙන් චලනය වන රූප රාමු සමූහයකි. සියල්ල සිදුවෙමින් ඇත්තේ එකම වපසරියකය. "2004 බැග්ඩෑඩ්" යන්න තිරය මත සනිටුහන් වේ. එසේනම් මේ ඉරාක යුද්ධයේ දරුණුම කාලවකවානුවේ බැග්ඩෑඩය විය යුතුය. තැන් තැන්වල ඇත්තේ බෝම්බ ප්‍රහාර ආදියෙන් පිලිස්සී ගිය රථ වාහනයි. ගොඩනැඟිලි අත්හැර දමා ඇති බවක් පෙනේ. කඩසාප්පු කිහිපයක් නම් විවෘතව පවතී. ජනී ජනයා එහෙමටම නැත. ප්‍රේක්‍ෂකයා සමහර රූපරාමු දකින්නේ බෝම්බ නිරීක්‍ෂණයේ යෙදෙන කුඩා යන්ත්‍රයක් හරහායි. එය ඔබ මොබ සැරිසරන්නේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි බෝම්බයක් සොයමිනි. අමෙරිකානු බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායමක් මෙතැන සිටිති. ඔවුහු තරුණය. ජවාධිකය. එසේම ඉවසිලිවන්තය. ඉවසීමක් නොමැතිව මේ කර්තව්‍ය ඉටුකළ හැකි නොවේ.

බැග්ඩෑඩයට නම් පුපුරා යන බෝම්බ හුරුපුරුදුය. කැමරාව නිතරම ගැස්සෙයි. අෑතින් සිටින මිනිසුන් හා ගැහැනුන් කැමරාවට මුණගැසේ. බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායමේ සමීප රූප ඒ හා මුසුකෙරේ. සමීප රූප සමඟ අඳුරු රූපද, මධ්‍යම සමීප රූපද මුසුවන්නේ ආතතිය දෙගුණ තෙගුණ කරමිනි.

මේ ජීවිතයත්, මරණයත් අතර මොහොතකැයි වරදවා වටහාගත යුතු නැත. මෙය ජීවිත හා දේපොළ රැකගැනීමේ වුවමනාවකද කොටසය. ඒ සමඟම තමන්ගේ ජීවිතද ආරක්‍ෂා කරගත යුතුය. හැමෝටම පෞද්ගලික ජීවිතයක්ද තිබේ. වෘත්තීය ජීවිතයට හා සමාජ ජීවිතයට අතිරේක වශයෙනි. බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායමේ අයටද මෙය පොදුය. සිනමාපටයේ අගභාගයේදී ප්‍රේක්‍ෂකයාට මුණගස්වන්නේ මේ අතරින් එක් අයකු වන ජේම්ස්ගේ ගෘහ ජීවිතයයි. ජේම්ස් ජරාවාස වූ තමන්ගේ නිවෙස පිරිසුදු කරයි. කොළරොඩු හැමතැනමය. තරුණ බිරිය අහර පිසියි. දරුවා කෙළිදෙළිනි. ජේම්ස් දරුවා හා විනෝදවන්නේ දරුවකු මෙනි. එහෙත් ඔහු යා යුතුය. ජීවිතය එක තැන කරකැවෙන ස්වභාවයකින් සමන්විතද? යළිත් ඔහු සුපුරුදු කර්තව්‍යයට බැහැර යයි.

මොහොතකටවත් දෑස් ඉවතට ගන්නට ඉඩක් නොදෙන යට කී රූපරාමු පෙළක් සමඟ ඇරැඹෙන්නේ අන්තර්ජාතික අවධානයට තවදුරටත් පාත්‍ර වෙමින් සිටින KATHRYN BIGELOW කැතරින් විගලොව් අධ්‍යක්‍ෂණය කළ "THE HURT LOCKER" සිනමාපටයයි. වර්ෂ 2008 දී මහජන ප්‍රදර්ශනයට එක්කළ "THE HURT LOCKER" අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලද සිනමාපටයකි. එහි කූටප්‍රාප්තිය වූයේ 82 වන ඇකඩමි සම්මාන උළෙලය. හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම තිරනාටකය ඇතුළු සම්මාන 6ක් ඊට පිරිනැමිනි.

කැතරින් ඍජුවම අවතීර්ණ වන්නේ ඉරාක යුද්ධයේ මර්මස්ථානය කරාය. ඉරාක යුද්ධය වර්ෂ 2003 මාර්තු 20දා සිට වර්ෂ 2011 දෙසැම්බර් 15 දක්වා ඇදීගියේ විවාදාත්මක තතු රැසක් ජනිත කරමිනි. ඉරාක යුද්ධයේ භූමිකා ගණනාවකි. එහි සාධාරණත්වය ප්‍රශ්න කළ අවස්ථා රැසකි. කැතරින් අමෙරිකානු සිනමාකාරියක බව ඇත්තය. වර්ෂ 1951දී උපන් කැතරින් සිනමාවට සපැමිණෙන්නේ වර්ෂ 1978දීයි. අෑ අමෙරිකානු ප්‍රධාන ප්‍රවාහයේ සිනමාකාරියක සේ දැන් හඳුනාගත හැකිය. "THE HURT LOCKER"හිදී අෑ ස්ථාපිත අමෙරිකානු දැක්මකින් ඉරාක යුද්ධය නිරූපණයට තැත් නොකරයි. ඒ මඟින් අෑ දේශපාලනික සිනමාකාරියක බවට පත්නොවෙයි. අෑ ප්‍රකට කරන්නේ අන් යමක් බව වටහාගන්නට ප්‍රේක්‍ෂකයා ඉක්මන් නොවිය යුතුය. එය නිරායාසයෙන්ම ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය.

කැතරින්ට ඇවැසි වන්නේ යැයි පෙනී යන්නේ කෙනකුගේ වෘත්තීය ජීවිතය සමාජ ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර ඇති විවිධාකාර පාලම් තරණය කිරීමය. ඒ සඳහා කෙමෙන් ගලා යන චරිත බහුල වෘත්තාන්තයක් ඉවහල් කර ගන්නට ඇය උනන්දු නොවෙයි. සිනමාපටය පුරාම එන්නේ ජේම්ස් ඇතුළු අමෙරිකානු බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම ඉරාක යුද භූමියේදී මුහුණදෙන අත්දැකීම්ය.

මේවා බිහිසුණුය. අවදානම් සහගතය. මරණය නිතර අත වනයි. ජීවිතය සැඟවෙන්නට වැර දරයි. වාසනාව උරගා බලන්නට මේ උචිත ස්ථානයක් නොවේ. ඒ තරමටවත් ඉස්පාසුවක් කවරෙකුටවත් නැත. ජේම්ස් ඇතුළු කණ්ඩායමේ වෘත්තීය ජීවිත, සමාජ ජීවිත හා පෞද්ගලික ජීවිත අතර සක්මන් කරන කැතරින් සියුම්ව අඟවන්නේ කෙනකුට තමන්ගේ අරමුණ වෙනුවෙන් කොතෙක් දුරට ඉවසා සිටිය හැකිද යන්නයි. ඒ සඳහා අෑ යුද භූමියම තෝරාගන්නීය.


බෝම්බය නිෂ්ක්‍රිය කරන තුරු, ඉලක්කය හරියන තුරු නිසොල්මන්ව, ඉවසීමෙන් සිටින්නට ජේම්ස් ඇතුළු පිරිස ප්‍රේක්‍ෂකයාටද බල කරයි. ප්‍රේක්‍ෂකයාද ඊට අවනත වන්නේ අන් කළ හැකි යමක් නොමැති නිසාවෙනි. ඉවසීම ප්‍රගුණ කළ යුත්තකි. එහෙත් ඒ එකම ආකාරයකට නොවේ. ඉවසීමේ ප්‍රතිඵල සුවාදයී නොවන්නටද පුළුවන. සිනමාපටය අවසනදී ජේම්ස් අලුත් වගකීමකට බැඳෙනු පිණිස තරුණ බිරියත්, දරුවාත් තනිකොට යන්නේ ඒ ගැන තවදුරටත් සිතන්නට ප්‍රේක්‍ෂකයා පොලඹවමිනි. අත්දැකීම් ඔහු පසුපස හඹා එන්නේ අදෘශ්‍යමාන අවතාර මෙන්ය. ගැලවීමක් නැති පාටය. අන් ආකාරයක ජීවිතයක් ඉල්ලා සිටීම තර්කානුකූල නොවන්නටද ඉඩ තිබේ. ජේම්ස් උත්සාහ නොකරන්නකු සේ හංවඩුගැසිය යුතු නැත. බිරියගේ සෙනෙහසද, දරුවාගේ හුරතලයද මොහොතකට අතීතය තුසිත ජයසුන්දරඅමතකර කර දමනසුලුය. එහෙත් ඊළඟ මොහොත සැබෑ ලෝකයට ඔහුව ගෙන යයි. එසේ නම් පෞද්ගලික ජීවිතය ව්‍යාජයක්ද යන ප්‍රශ්නය මතුවීමට ඉඩ තිබේ.

කැතරින් බිගලොව් යළිත් අන්තර්ජාතික අවධානයට පාත්‍රව සිටින්නීය. මෙවර අෑ තෝරාගෙන ඇත්තේ ඔසාමා බින්ලාඩන්ගේ අවසානය ළඟාකර දුන් මෙහෙයුමයි. ZERO DARK THIRTYය.

සිනමාව තවමත් පවතින්නේ පුරුෂ බලය මුල්කරගෙනය. එහෙත් ප්‍රතිභාසම්පන්න බව ස්ත්‍රියටත් පොදු වූවකි. කැතරින් සිනමාවේ පුරුෂ බලයට අභියෝග කරන්නේ ප්‍රතිභාවද රැගෙනය.



0 comments:

Post a Comment