පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර බොහෝ විට උඩදී ම විනාශ කරනු ලැබේ. එයින් සිදු වන හානිය අවම ය. එහෙත්, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය. කුඩා දරුවන් ඇතුළු සිය ගණන් පලස්තීන ජනයා මේ ප්‍රහාරවලින් මිය යති.
ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොව පුරා බෙදා හැරෙමින් තිබේ. එසේ කරන්නේ පලස්තීන ජාතිකයන් කෙරෙහි ලෝකයේ අනුකම්පාව දිනා ගන්නට ය. ඊශ්‍රායල් හා ඇමරිකන් විරෝධය කුළුගන්වන්නට ය. එහෙත්, මේ වන විට ලෝකය ඇති තරම් පලස්තීනයට අනුකම්පා කර තිබේ. කොටින් ම ලංකාවේ ජනාධිපති පවා පලස්තීනයට අනුකම්පා කරයි.
එහෙත්, මේ අනුකම්පාවන්ගෙන් සිදු වන කිසිවක් තිබේ ද? නැත. පලස්තීන වැසියන්ට අවශ්‍ය වන්නේ සාමයයි. ආරක්ෂාවයි. ඔවුන්ට නො ලැබෙන්නේ ද එයයි.
පලස්තීන ප්‍රශ්නය වැනි ප්‍රශ්න උග්‍ර වීමට එක් හේතුවක් වන්නේ ලෝක බල දේශපාලනික උවමනාවන් ඔස්සේ මෙම ප්‍රශ්නය විග්‍රහ වීමයි. ඊශ්‍රායලය පවතින්නේ ඇමරිකානු ආරක්ෂාව මත බව ඇත්තකි. අැමරිකාව ලෝකය මත පතුරුවන ආධිපත්‍යය ප්‍රශ්න කිරීමේදී මැදපෙරදිග කලාපයේදී ඇමරිකාව ඊශ්‍රායලය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල ගැටලුවක් මතු වේ. එය අපගේ දැඩි විවේචනයට ලක් වන අතර ම අප මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් බැලීම ද අවශ්‍ය ය.
ඇමරිකාව පෙනී සිටින්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ලෙස ය. එහෙත්, ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ධනවාදයේ සීමාව තුළයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආයෝජකයන්ට සංචලනය සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම ශ්‍රමිකයන්ට නැත. ආයෝජකයන්ට සංවර්ධනය පිළිබඳ තීන්දු ගැනීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිළින්දන්ට නැත.
එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය සමාජවාදය දෙසට නැඹුරු නො වෙමින්, ජාතිවාදය වෙත කේන්ද්‍ර වීමේදී, සමාජවාදීහු ද ඉතා කණගාටුදායක ලෙස ජාතිවාදය වෙත ම තල්ලු වනු දක්නට ලැබිණි. ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදය තුළින් සොයා ගත නො හැකි බවට සාක්ෂි අද වන විට ඕනෑ තරම් ලැබෙමින් තිබේ. ලංකාවේ දෙමළ ජාතික විමුක්ති අරගලය මේ සඳහා අපට සමීප නිදසුනකි.
මේ සඳහා හොඳම නිදසුන පලස්තීනයයි. ගෝලීය ධනවාදයේ නියෝජනයන් වන ඇමරිකා එක්සත් ජනපදයට හා ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනය විසින් හමාස් නම් ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදී සංවිධානය බිහි කරගෙන තිබේ. ඉස්ලාමීය, බෞද්ධ, හින්දු ආදී අන්තවාදයන් යනු ලෝකය පසුගාමිත්වය වෙත යොමු කරන ප්‍රවණතා ය. ප්‍රශ්නවලට විසඳුම් සඳහා වන අරගලය තිබෙන්නේ ගෝලීය ධනවාදයත්, ජාතිවාදයත් යන දෙක ම ප්‍රතික්ෂේප කිරීම තුළ ය.
පීඩක ඊශ්‍රායල් ජාතිවාදයට හා ගෝලීය ධනවාදයට එදිරිව පීඩිත පලස්තීනුවන්ගේ ජාතිවාදය වෙනුවෙන් ලෝකය පෙනී සිටිය යුතු නැත.
පලස්තීනය හා ඊශ්‍රායලය වැනි නම් මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීම සඳහා ඉතිහාසය මුළුල්ලේ භාවිතා කර තිබේ. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම් ගණනාවක මුල් ඇදුණු ආගමික භූමියක් වන මෙය ඉතිහාසය මුළුල්ලේ සිදු වූ ආගමික යුද්ධ, මහා ජන සංචලන ආදිය හේතුවෙන් කලින් කලට දැවැන්ත විපර්යාසයන්ට ලක් වී තිබේ. ඊජිප්තු මම්ලුක් සුල්තාන් රාජ්‍යයේ හා පසුව ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවති පලස්තීනය 1917දී බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගන්නා ලදී. කලක් මෙම ප්‍රදේශය දකුණුදිග සිරියාව ලෙස ද හැඳින්විණි.
යුදෙව්වන් යනු ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ලොව පුරා ම පැතිර සිටි ජන කණ්ඩායමකි. ඔවුන්ට එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ පැතිරෙන්නට පටන් ගත්තේ 19වන සියවස තරම් ඈත කාලයේ සිට ය. විශේෂයෙන් ම ජර්මනිය වැනි නැගෙනහිර යුරෝපීය රටවල සිදු වූ යුදෙව් සංහාරයන් සමග යුදෙව් ජනයා තුළ ද ජාතික හැඟීම් හා ජාතියට දේශයක් පිළිබඳ හැඟීම වර්ධනය විය. අද අපි සියොන්වාදය ලෙස දකින ජාතිවාදයේ නැගීම සිදු වන්නේ මෙම සංදර්භය තුළයි.
වාමාංශික, දක්ෂිණාංශික, ආගමික, නිර්ආගමික ආදී ලොව පුරා යුදෙව් ජනකොටස්වල සහයෝගයෙන් සාමූහික ජනාවාස බිහි කිරීමේ දේශපාලනික සංචලනයක් 19වන සියවසේ සිට සිදු විය. ආලියා නම් වූ මෙම වැඩසටහනේ මුල් පියවරේදී 1882 සිට 1903 දක්වා කාල පරිච්ඡේදය තුළ යුදෙව් ජාතිකයෝ 35,000ක් වත්මන් ඊශ්‍රායලය පිහිටි භූමියට සංක්‍රමණය වූ හ. 1890 වන විට ජෙරුසලමේ බහුතර ප්‍රජාව බවට පත් වන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් අවට ප්‍රදේශවල තවදුරටත් බහුතකරය වූයේ ගෝත්‍රික අරාබි ජනයා හා ක්‍රිස්තියානි අරාබිවරු ය.
1897දී බිහි වූ පළමු සියොන්වාදී කොංග්‍රසය විසින් පලස්තීන භූමියේ ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීම පිළිබඳ යෝජනාව සම්මත කර ගන්නා ලදී. එහෙත්, ඔටෝමාන් අධිරාජ්‍යය තුළ මෙම යෝජනාව ඉදිරියට ගෙන යාමට සියොන්වාදීන්ට අවස්ථාව නො ලැබිණි.
දෙවන ආලියා ලෙස හැඳින්වෙන 1904 - 1914 සමයේදී යුදෙව් ජාතිකයෝ 40,000ක් දකුණුදිග සිරියාවේ ජෆා නගරය කේන්ද්‍ර කරගෙන පදිංචි වූහ. මෙම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය රුසියාවේ හා පෝලන්තයේ සිදු වූ යුදෙව් සංහාරයන්ගෙන් මිදී පළා ආ ජනයා ය. සියොන්වාදීන් සිය ජාතික භාෂාව ලෙස හීබ්‍රෑ බස යළි පිහිටුවන්නේ ද මෙම සමයේදී ය.
විසිවන සියවසේ මුල් පනස් වසර තුළ ලොව පුරා යුදෙව්වෝ මිලියන ගණනින් පලස්තීනයට සංක්‍රමණය වී පදිංචි වූ හ. මේ දැවැන්ත, සංවිධිත සංක්‍රමණය සාධාරණීකරණය කළ හැකි සිද්ධි දාමයක් ද තිබේ. ඒ අතර ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ නාසිවාදීන් විසින් කරන ලද දැවැන්ත යුදෙව් සංහාරයයි. මෙම වකවානුවේදී යුදෙව් ජනයා මිලියන ගණනින් මිත්‍ර හමුදා සමග යුද්ධයට ද සම්බන්ධ වූ හ. මේ යුද ප්‍රවීණයෝ පසු කලෙක පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමේ සටනට නායකත්වය දුන් හ. පසු කලෙක, දෙවන ලෝක යුද්ධයෙන් දුර්වල වූ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් අරගලයක් ද සියොන්වාදීන් විසින් ආරම්භ කරන ලදී.
අවසානයේදී 1948 වන විට, සම්ප්‍රදායිකව මුස්ලිම් ආධිපත්‍යයක් පැවති පලස්තීනය තුළ බිහි කරන ලද කෘත්‍රිම ජනාවාස ඔස්සේ භූමියට අයිතිවාසිකම් කියමින් ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කර ගැනීමට සියොන්වාදීහු සමත් වූ හ. වෙන් වෙන්ව පලස්තීන රාජ්‍යයක් හා ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීමේ එක්සත් ජාතීන්ගේ සැලැස්ම පලස්තීන අරාබිවරු මෙන් ම, යුදෙව් ඊශ්‍රායල්වරු ද ප්‍රතික්ෂේප කළ හ.
![]() |
පලස්තීන් යුද්ධයෙන් පසු 1949දී පලස්තීනය හා ඊශ්‍රායලය |
ඊජිප්තුව, සිරියාව, ජොර්දානය හා ඉරාකය පලස්තීන භූමිය ආක්‍රමණය කළ හ. ඊශ්‍රායලය ද පෙරළා පහර දුන්නේ ය. අරාබි රටවල් විසින් ද අරමුණු කරනු ලැබුවේ ස්වාධීන පලස්තීනයක් බිහි කිරීමට නොව පලස්තීනයේ කොටස් තමන්ට ඈඳා ගැනීමටයි.
යුද්ධයෙන් පසු ජෝර්දානය ජෝර්දාන් නදියේ බටහිර ඉවුර තම රටට ඈඳාගෙන එහි පලස්තීන අනන්‍යතාව මකා දමා පලස්තීනුවන් ජෝර්දාන් පුරවැසියන් බවට පත් කිරීමට පියවර ගත්තේ ය. ඊජිප්තුව ගාසා තීරය යටත් ප්‍රදේශයක් බවට පත් කර ගත් මුත් එහි වැසියන්ට ඊජිප්තු පුරවැසිභාවය පිරිනැමුවේ නැත. ඒ වෙනුවට ඔවුන් අනාථයන් පිරිසක් බවට පත් කරන ලදී. ඊජිප්තුව පලස්තීන වැසියන් පාවිච්චි කළේ ඊශ්‍රායලයට එරෙහිව සිය උපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි.
එහෙත්, පලස්තීනුවන්ගේ ජාතික හැඟීම් අකා මකා දැමීමට ඊශ්‍රායලයට හෝ අරාබි රටවලට බැරි විය. 1964දී පලස්තීන විමුක්ති සංවිධානය බිහි විය.
1967දී ඊජිප්තුව, ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටියදී මුලින් පහර දුන් ඊශ්‍රායලය සය දින යුද්ධයකින් මේ රටවල් තුන විසින් අත්පත් කරගෙන තිබුණු ගාසා තීරය, බටහිර ඉවුර හා සිරියාවේ ගෝලාන් කඳුකරය ද ඊශ්‍රායලයට ඈඳා ගත්තේ ය.
වර්තමානයේ පලස්තීන රාජ්‍ය හිමිකම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකයේ බොහෝ රටවල් විසින් පිළිගෙන ඇතත්, පලස්තීන භූමිය තවමත් ඊශ්‍රායල් ආධිපත්‍යයට යටත් ය. ගාසා තීරයේ ජනගහණයෙන් 99%ක් ම පලස්තීන මුස්ලිම් ය. බටහිර ඉවුරේ 75%ක් මුස්ලිම් ය. ඊශ්‍රායලය තමන්ට හිමි භූමිය යයි සලකන බිමේ මුස්ලිම් ජනගහණය 16%කට වැඩි ය. පලස්තීනුවෝ මේ බිමේ යුදෙව්වන්ට පමණක් දෙවන වන විශාලතම බහුතර ප්‍රජාවයි.
පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේදී සියොන් ජාතිවාදයට විරුද්ධ පදනමකින් පලස්තීන ජාතිවාදය සමග සිට ගැනීම ලොව පුරා වාමාංශිකයන් අතර ජනප්‍රිය ස්ථාවරයක් වී තිබේ. එහෙත්, අද වන විට පලස්තීන විමුක්ති අරගලය ද භේද භින්න වී තිබේ. ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානයත් බටහිර ඉවුරේ බලවත් ෆාටා සංවිධානයත් අතර උග්‍ර ගැටුමක් නිර්මානය වී තිබේ.
පලස්තීනය හා ඊශ්‍රායලය අතර ලේ හැලෙන අර්බුදය ඇමරිකාවට අභියෝග කරන්නට යොදා ගැනීම හේතුවෙන් අවසානයේදී සිදු වී තිබෙන්නේ ධනවත් ඊශ්‍රායලයට කෙසේ වෙතත්, දිළිඳු පලස්තීනයට නම් අපායක් නිර්මානය වීමයි.
පලස්තීන අර්බුදයට එකම භූමියක රාජ්‍ය දෙකක් පැවතිය හැකි විසඳුමක් යෝජනා වී තිබෙන අතර දෙපැත්තේ ම ජනතාවගෙන් ම එයට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබේ. ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක්කේ මේ ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමෙනි. පලස්තීන මෙන් ම ඊශ්‍රායල් වැසියන්ට ද ගෞරවනීය සාමයක් අවශ්‍ය ය. යුද්ධය අවශ්‍ය වන්නේ අන්තවාදීන් අතළොස්සකට හා මේ ප්‍රශ්නයෙන් වාසි ලබන තුන්වන පාර්ශ්වයන්ට ය.
පලස්තීන අර්බුදයේ ඉතිහාසය හැදෑරීම වැදගත් ය. මන්ද, අප මෙම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ඇමරිකන් විරෝධී හැගීම්වලට වහල් වී නො වේ. එහෙම හැඟීම්බර වූ විට අප ගොස් සිට ගන්නේ අන්ත ජාතිවාදයන් සමගයි. අප සෙවිය යුත්තේ සමාජවාදී ස්ථාවරයක් ය
----w3lanka-----