සුදු රෝස මල
රැස්ව සිටි පිරිස ඇමතූ ග්‍රාම සේවක මහතා අවමංගල උත්සවයට පැමිණි සියල්ලන්ටත් ගුණකථන ඉදිරිපත් කළ සියල්ලන්ටත් ස්තුති කළේය.අනතුරුව දේහය භූමදානය සඳහා සුසාන භූමියට ගෙන යන ලදී.අයියාගේ පාසැල් මිතුරන් නෑදෑ හිතවතුන් අතර මළ මිනිසෙකු මෙන් මමද ඉදිරියට ඇදුනෙමි.ලොකු අයියා අප පවුලේ නෑදෑයින් අතරත් ඔහුගේ මිතුරන් අතරත් සුහද චරිතයක් විය.ඔහු අසනීපව මහරගම පිළිකා රෝහලේ ගතකළ කාලය තුළ ඔහු බැලීමට ආගිය පිරිස දෙස බැලීමේදී එය මනාව පැහැදිළි විය.
මෙතරම් දරුණු රෝගයක් අයියා වැන්නෙකුට වැළදීම පිළිබඳව කාගේත් සිත් තුළ මතුවූයේ විමතියකි.කුඩා කල සිටම මස් මාළු කිසිවක් කෑමෙහි රුචියක් නොදැක්වූ ඔහුට පරිසරය සතා සිවිපාවා හා ගහකොළ පිළිබඳව තිබුණේ මනා අවබෝධයකි.
ඡායාරූපකරණය මෙන්ම පරිගණක විෂයද විනෝදාංශයක් කරගත් අයියා අතින් විවිධ ඕකිඩ් වර්ග මෙන්ම රෝස විශේෂ ගණනාවක්ම ගෙවත්තේ හිඳ සැලකුම් ලැබීය.වසර ගණනක් තිස්සේ බොන්සායි ශාක විශාල ප්‍රමාණයක් ඔහු රැස් කළේය.ඔහුගේ තනිකඩ ජීවිතයට අස්වැසිල්ලක් වූයේ මෙවැනි විනෝදාංශ විය යුතුය.
අයියා තනිකඩ ජීවිතයක් ගත කළේ ඇයිදැයි නිතරම මගේ මනසට වද දෙන කරුණක් විණි.ඔහු කිසිවෙකුට ආදරය කළ බවත් එය දිගු කළක් පැවති බවත් අයියා ඇය ඔහුගෙන් වෙන්ව ගිය දුකින් තැවෙන බවත් මා කුඩා කාලයේදී අක්කා අම්මා සමග පවසනු මට ඇසී ඇත. ඔහුගේ දුක ඔහු විසින්ම දරාගනු ලැබුවද ඔහු ගේ ජීවිතය තුළ විරහ වේදනාව පිරී තිබුණ බව ඔහු අසන ගී තුළිනුත් ඔහු අතින් ලියවුණ දෑ තුළිනුත් මට හැඟී තිබුණි.
එවන් එක් සිදුවීමක් මට යන්තමට මතකය.ඒ මා හත්වන වසරේ ඉගෙනුම ලබන කාලයයි.අයියාගේ කාමරය දෙසින් යමක් ගිනි ගන්නා බව දුටු අක්කා කෑ ගැසුවාය.අම්මාත් මමත් ඉක්මනින් පැමිණ එය නිවා දැමුවෙමු.අයියා කාමරය මැද පුටුවක වාඩිවී එය දෙස නිසොල්මන්ව බලා සිටියේය.
පොතක පිටු කිහිපයක් එහි වූයෙන් අම්මා ඔහුට දොස් නගමින් මට එය අස් කරන ලෙස පවසා කුස්සියට ගියාය.මම පිළිස්සුන කඩදාසි කොළ එක්කර අතට ගතිමි.එය ඉවතට ගෙන යන අතර එහි වූයේ කුමක් දැයි බැලීමට මට වූයේ මහත් කුතුහලයකි.පිළිස්සී නොගිය කොළයක යන්තමට ජනවාරි 24 දිනය සටහන් වී තිබිණි.තවත් දිනපොත් පිටුවක මගේ සුදු රෝසමල යනුවෙන් ඔහු පෑනෙන් ලියූ වදන් පේළියක් විණි. ඒ හැරෙන්නට අඩක් පිළිස්සී ගිය අනෙක් කොළවල කිසිවක් නොවිණි.
පාර දිගේ පැමිණි අවමංගල පෙරහර සමූපකාර හන්දියෙන් හැරී සුසාන භුමියට ඇදෙයි.මළබෙර වාදනයෙන් මුළු පිරිසරයම ශෝකාන්විත වී හමාරය.දෙපස අදින ලද සුදු සැරසිලි හා ගොක් කොළ වියන් අතරින් සුසාන භූමියට ඇතුළු වූ පිරිස දේහය සොහොන් ගෙයි තැබූහ.සොහොන් කොතෙහි වැඩ කරන ලද ගාමිණී මාමා එය අසලට පැමිණ අවසන් වශයෙන් කාට හෝ එය බැලිය යුතු දැයි විමසුවේය. පරිසරයම නිහඬ විණි.කවුරුන් හෝ බැලිය යුතු යැයි කියනු ඇතැයි මම බලා පොරොත්තු වීමි.ශෝකයෙන් සිහි සුන් වූ අම්මා සහ අක්කා නිවසෙයි වූයෙන් මගේ දෙනෙත් තාත්තා සොයන්නට විය.එක්වරම පිරිස අතරින මතුවූ මැදිවියේ කාන්තාවක් දේහය බැලිය යුතු යැයි පැවසුවාය.සුදු සාරියකින් සැරසී සිටි ඇය විවෘත කරන ලද දේහය දෙස උපැස් යුවළ සකසමින් හොදින් බැළුවාය.අයියාගේ දේහය අවසන් වශයෙන් දුටු විට ඔහුහේ ශරීරය කෙතරම් දුක්බර දැයි මට වැටහිණි.වසර කිහිපයකට පෙර මනා පිරිපුන් සිරුරක් තිබුණද එය ඇට සැකිල්ලක වෙස් ගෙන තිබිණි.හිසේ එක කෙස් ගසක් වත් නොවිණි.දේහය දෙස බැලූ කාන්තාව දෑතින් මුහුණ වසා ගනු මට පෙණිනි.ඈ සිහිසුන්ව ඇද වැටුණාය.පිරිස අතර සිටි කිහිප දෙනෙක් ඇයව වත්තන් කරගත්හ.වසා දැමුණ පෙට්ටිය මිහිදන් කෙරිණි.කුඩා කළ මා හට පියෙකු මෙන් සිටි ලොකු අයියා අපෙන් සමුගත්තේය.ජීවිතය කෙතරම් අනියත දැයි මට ඔහු සිහිවන හැම මොහොතකම සිතෙයි.
මාස කිහිපයකට පසුව අයියාගේ කාමරය අස් කළ මට ඔහුගේ දිනපොත් මිටියක් හමුවිණි.ඒවායේ බොහොමයක් වුයේ රෝස මල් ගැන විරහවෙන් පිරි කවීන්ය.අයියාගේ ජීවිතය මහා පුදුමාකාර යැයි මට සිතුනි.ඒ අතර 20## වසරේ ජනවාරි මාසයේ දින පොතේ කොළ කිසිවකු විසින් කඩා ඇති බව පෙණිනි.එහි අවසන් පිටුවේ මා මිය ගිය පසු මගේ සොහොන තුළ ආදරයේ සුදු රෝසමල් පිපෙනු ඇත යනුවෙන් පිටුවක් පුරා විශාල අකුරෙන් ලියා තිබිණි.
*************************************************************************
**************************** නිමි **************
0 comments:
Post a Comment